2019 මාර්තු 23 වන සෙනසුරාදා

කොටි වළ දාපු රත්රන් ගන්න සෙට් වුණු පොලිස් ලොක්කා

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 185

ඊච්චන්කුලම පොලිස්ථානයට පැමිණි පිටස්තර කෙනෙකි. අවසරයකින් තොරවම පොලීසියට ගිය ඔහු ස්ථානාධිපතිගේ නිල කාමරයට ගියේය. හිතවතුන් වූ දෙන්නා සැලකිය යුතු වේලාවක් සාකච්ඡා කළෝය. ඒ හමුව කිසිවකුට අමුත්තක් නොවුණද කතාව රාජකාරි මට්ටම ඉක්මවා ගිය එකකි. එතැනින් පිටව ගිය අමුත්තා යළිත් දිනෙක වව්නියාවට පැමිණ තිබුණේ තවත් හිතවතුන් කීපදෙනකු සමඟය. ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා පිරිසට එක්වූ පසුව ප්‍රදේශයේ හෝටලයකට ගොස් සාදයක් පවත්වන අතරතුර හෝටල් කළමනාකාරිත්වයට පැමිණි පිරිස හඳුන්වා දී තිබුණේ විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් ලෙසය.

අදාළ දිනයෙන් දවස් තුනකට පසුව පෙර කී පොලිස් ස්ථානාධිපතිවරයා වව්නියාව දිසා දූෂණ මර්දන ඒකකයේ අත්අඩංගුවට පත්වී තිබුණේ සැකකරුවන් ආරක්ෂා කරමින් ඔවුන්ට ආධාර අනුබලදී තොරතුරු වසන් කරමින් පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඉඩමක අනවසර කැණීමක් සිදු කිරීමේ චෝදනාවට සැකපිටය.

එම චෝදනාව සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂ් කුමාර ආරියරත්න (46) සහ එම පොලීසියේ කොස්තාපල්වරයකු වන විසුල් නිලන්ත විතාන (51) නැමැත්තා සමඟ තවත් සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගණුලැබ සිටිති. ඉකුත් 17 වැනිදා සිදුවූ අත්අඩංගුවට ගැනීමට දින තුනකට පෙර වූ කතාව නිධන් කොල්ලයේම දිගුවකි.

“ඊච්චන්කුලම පාරේ 13 කණුව කිට්ටුව පොඩි වැවක් තියෙනවා. ඒ හරියේ එල්.ටී.ටී.ඊ. එකෙන් වළ දමපු රත්රන් තොගයක් ගන්න හදනවා කියලා ආරංචියි. ඒකට කට්ටියක් අද රෑට එන්න ලෑස්ති වෙලා ඉන්නවා. කතාව එහෙම වුණාට මේක නිධන් හෑරීමක් වෙන්නත් ඉඩ තියෙනවා”

මාර්තු 17 වැනිදා රාත්‍රියේ සිදුවීමට නියමිතව තිබූ නීති විරෝධී කටයුත්තක් සම්බන්ධයෙන් රහසිගත තොරතුරු වව්නියාව දිසා බාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතාට ලැබී තිබුණේ හෝරා කීපයකට පෙරාතුවය. 16 වැනිදා රාත්‍රි 9.00ට පමණ ලැබුණු තොරතුර සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතා ඔහු යටතේ පවතින වව්නියාව දිසා දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක එස්. බී. සුබසිංහ මහතාට දන්වා කියා තිබුණේ හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වමිනි.

ඒ සමඟම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක සුබසිංහ මහතා සිය ඒකකයේ නිලධාරීන් දැනුම්වත් කරන අතුරතුර තොරතුරු ලබාදුන් ඔත්තුකරු සොයාගොස් වැඩිදුරටත් අවශ්‍ය තොරතුරු අසා දැනගත්තේය. අනතුරුව වැටලීම සඳහා ක්‍රමවත් සැලසුමක් සකස් කෙරුණු අතර අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණය සමඟ වාහන ද සපයාගෙන තිබුණි.

ඔත්තුකරුගෙන් ලබාගත් තොරතුරු අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන්  A -9 මාර්ගයේ තාණ්ඩිකුලම දුම්රියපොළ පසුකර ඊච්චිකුලම මාර්ගයේ හමුවන 13 කිලෝමීටර් කණුව අසළින් පිහිටි අතුරැ පාරක තවත් මීටර් 900ක් පමණ ගමන්කර තිබුණි.

අසල්වාසි ගෙයක් දොරක් නොවුණු ප්‍රදේශයේ කෙළවරක තරමක වැවක් පිහිටා ඇති බවට සාධකය. එහෙත් අන්ධකාරයට එවැන්නක් පෙනෙන්නේ නැත. නිලධාරීන් ගමන්ගත් රථවාහන තරමක් දුරින් නවත්වා පාගමනින් යන අතරමග නවතා තිබූ කැබ් රථයකි. ඒ ආසන්නයේම නවතා තිබූ නවීන පන්නයේ මෝටර් රථයකි. එම මෝටර් රථය තුළ සිටි පුද්ගලයන් දෙදෙනකි. ඔවුන් කවරෙක්දැයි ප්‍රථමයෙන් නිලධාරීන් ප්‍රශ්න කළේද නැත. එහෙත් ඔවුන් දෙදෙනා සිවිල් ඇඳුමින් සැරසී උන් නිලධාරීන්ගෙන් යමක් විමසන්නට උත්සාහ කළේද නැත. එහෙත් දෙපිරිසම දෙපාර්ශවය පිළිබඳ සිට ඇත්තේ සැකයෙනි. සූක්ෂම අයුරෙන් සෝදිසියේ නිරතව සිටි නිලධාරීන්ට අඳුර මැදින් බිම කොටන ශබ්දයක් ගල් බොරළු එකිනෙක ගැටෙන හඬක් ඇසෙන්නට විය. ඒ දෙසට කිට්ටු වෙද්දි තරමක පහන් ආලෝකයක්ද එහි තිබී ඇත. ක්ෂණිකව එම ඒ ස්ථානය වැටලූ නිලධාරීන් එහි රැඳී සිටි පිරිසට අණකර තිබුණේ වහා යටත් වන ලෙසය. ඒ මොහොත වනවිටත් අවට රැකවල්ලා සිටි නිලධාරීන් පාරේ නවතා තිබූ මෝටර් රථයේ සිටි දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබුණි. නිලධාරීන් කැණීම සිදු කරන ස්ථානයට යනවිට පිරිස උදළු අලවංගු සහ තාච්චි උපයෝගී කරගෙන යම් ප්‍රමාණයක වළක් කපා එහි පස් ඉවත් කරමින් සිට ඇත. මේ අතර මෝටර් රථයේ රැඳී සිටි දෙදෙනා ප්‍රකාශ කර තිබුණේ ව්‍යාපාර කටයුත්තක් සඳහා පැමිණි බවය. සැකකරුවන් පිරිස සමඟ අත්අඩංගුවට ගත් කැබ් රථය හා මෝටර් රථය රැගෙන වව්නියාව පොලිස්ථානයට රැගෙන ආ පසුව ඔවුන් එකිනෙකාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගන්නට පියවර ගෙන තිබුණි. එහිදී ඔවුන් කුරුණෑගල, හොරණ, අතුරුගිරිය, තලගල වැනි ප්‍රදේශවල පදිංචිකරුවන් බවද හෙළිකර තිබුණි.

මේ අතර මෝටර් රථයේ රැඳී සිටි දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් හෙළිකර තිබුණේ ඊච්චන්කුලම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කුමාර ආරියරත්න (46) සහ එම පොලිස්ථානයේම සේවයේ නියුතු පොලිස් කොස්තාපල් (51424) විසුල් නිලන්ත නැමැත්තා බවය. සැකකරුවන් පිරිස රැගෙන විත් තිබූ ස්කෑනර් යන්ත්‍රයක් ද වූයෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී හෙළිකර තිබුණේ ඔවුන් එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය විසින් කල්මඩු ප්‍රදේශයේ කැලෑබද ඉඩමක වළදමා ඇති රත්රන් තොගයක් ගොඩ ගැනීමට පැමිණි බවය. කැණීම් උපකරණවලට අමතරව ජංගම දුරකථන 7ක් ඔවුන් අත තිබී සොයාගෙන තිබුණි.

සැකකරුවන් අතර පොලිස් ස්ථානාධිපති හා කොස්තාපල්වරයෙක් සිටින බව හඳුනාගත් වහාම උසස් නිලධාරීන්ට තොරතුරු දන්වන්නට වැටලීම සිදුකළ පිරිස ක්‍රියා කළේය. ඒ අනුව සැකකරුවන්ගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තාවක් කඩිනමින් ලබාගෙන සිදුකළ විමර්ශනයේදී පිරිස අතර කාලයක සිය දුරකථන සංවාද පවත්වා ඇති බවත් අදාළ දිනයේදී පමණක් පොලිස් ස්ථානාධිපති, පොලිස් කොස්තාපල් හා සෙසු පිරිස අතර වාර ගණනක් දුරකථන සංවාද පවත්වා ඇති බවද අනාවරණය වී තිබුණි.

ඒ අතර අනාවරණය වී තිබුණේ සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුට අයත් පෞද්ගලික මෝටර් රථයෙන් කැණීම සිදුකළ ස්ථානයට පැමිණි බවත් කැණීම සිදු කරන තෙක් ඔවුන් මෝටර් රථය තුළට වී සිට ඇති බවත්ය. එසේම පිරිස දින ගණනාවක සිට රත්රන් ගොඩගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇති බවද ඒ වෙනුවෙන් එක් සැකකරැවෙක් ඊච්චන්කුලම පොලිස් ස්ථානයට පැමිණ සැකකාර ස්ථානාධිපතිවරයා ද හමුවී ඇති බවය. ඊට අමතරව දින තුනකට ඉහතදී පිරිස හමුවී වව්නියාව ප්‍රදේශයේ හෝටලයක නැවතී සාදයක් පවත්වා තිබෙන බවත් එහිදී පිරිස විශේෂ කාර්ය බළකා නිලධාරීන් වශයෙන් ව්‍යාජ රංගනයක නිරත වූ බවත් හෙළිකර ඇත.

මන්නාරම දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතා තොරතුරු පොලිස්පතිවරයාට දන්වා ඉදිරි විමර්ශන පැවැත්වීම සඳහා සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයාත් කොස්තාපල්වරයාත් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ලක්කර තිබුණි. මෙම සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයාට වසර තුනකට පමණ ඉහතදී ස්ථාන මාරුවීමක් ලැබී ඇතත් එය උසස් නිලධාරීන්ගේ ආධාරයෙන් වළක්වාගෙන ඇති බවද හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අප්‍රේල් 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

වව්නියාව, මන්නාරම දිස්ත්‍රික් බාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම, කොට්ඨාශ බාර පොලිස් අධිකාරී ටී. එම්. එස්. එම්. තෙන්නකෝන් වව්නියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහින්ද විල්ලොරආරච්චි, වව්නියාව දිසා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. බී. සුබසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05